Thursday, February 12, 2015

හීනය | The Dream


මගේ පෙර පෝස්ටුවට රන්ජන් මිතුරා කී දෙයට පිළිතුර තමයි මේ.

"හීනයක් නෙවෙයි. හැබැයි ලංකාවෙ නෙවෙයි. ඒත් ලංකාවෙත් මෙහෙම වෙනවානම් සතුටුයි."

ඒත්, අපායට යතත් ඉස්සෙල්ලම "මම" යන්න ඕන කියල හිතන ලාංකික අපි වැරැද්දක් හදා ගන්න කියද්දි අනුන් කරන තුරු බලා ඉන්නෙ ඇයි?

හැමෝම තම තමන්ගෙ වැරදි හදාගන්න මිසක් අනිත් අයගෙ වැරදි හොයාගන්න දඟලන්නෙ නැති දවසක හීනය හැබෑ වෙන්නෙ කවදාද?

Wednesday, February 11, 2015

සිල්ලර කාසි! | Change please!


මා අත සිල්ලර කාසි තිබුණේම නැත. විනාඩි කිහිපයකට පෙර ATM යන්ත්‍රයකින් ලබාගත් 100 නෝට්ටු කිහිපයක් රැගෙන අසල පාන් කඩයට ගොඩ වැදුනෙමි.  පාන් මිල 3.49 කි. දෙගිඩියාවෙන් 100 කොලයක් දික් කළෙමි. බෑගයක දැමූ පාන් ගෙඩියද ඉතිරි 96.51 ද මා අතට දුන් නාඳුනන වෙළෙන්දා  "ස්තුතියි, නැවත හමුවෙමු"යි සිනාවකින් පැතුවේය.

Monday, October 27, 2014

මම තවම මෙහි සිටිමි.. | Frozen feet !


එදා අවසන් වරට
සමුඅරන් යනවිටදි
සොඳුරු තොල් පෙති සලා
පැවසුවේ කිමද නුඹ
"ගිහින් එන්නම්" නොවෙද.......?

Wednesday, September 17, 2014

ගුවනින් ගිය ගොඩයා  | First time in an Aeroplane

"ගුවනින් ගිය ගොඩයා" ගුණදාස ලියනගේ මහත්තයගෙ පොතක්. මගේ මතකය හරි නම් ලියනගේ මහත්තය 1960 ගණන් වල මහ ගංවතුර වාර්තා කරන්න ත්‍රිකුණාමලය අම්පාර පැත්තේ ගිහින් ගං වතුරට කොටු වෙලා ගුවන් යානයකින් ආපහු එන කොටසකුත් ඒ පොතේ තියනවා. 
පිංතූරය ගත්තෙ මෙතනින්
මගේ පළවෙනි ගුවන් ගමන වුනේ රාජකාරි  බාර ගන්න දුරු රටකට යන්නයි. ඒ රාජකාරිය නිසාම ලෝක ගෝලෙ අනිත් පැත්තෙ මගෙ මායියත් එක්ක අවුරුදු තුනක් ගතකරන්න වෙනවා. ඒ අවුරුදු තුනට වෙච්ච ජරමර, ලැබූ අතිදැකීම්, අහපු දැකපු දේවල් ලියන්නයි මේ "කළවම් පලා" පටන් ගන්නෙ.

බැඳලා අවුරුදු තුනක් විතර  අරමුණක් නැතිව වගේ එහාටයි මෙහාටයි යමින් ඇනෙක්ස් වල නැවතිලා හිටි අපි දෙන්නට කියන්න තරම් දුකක් කරදරයක් තිබුණෙ නැහැ. සතියෙ දවස් වල උදේට රස්සාවට ගිහින් හවසට ගෙදර එන අපි දෙන්නට සති අන්තයේ ගෙදර හිටිය කියලා පාළුවක් තනිකමක් නොතිබුණේ ‍කවුරු හරි පොඩි එකෙක් අපේ ගෙදරට කඩා පනින නිසයි.

කොහොමින් කොහොම හරි ඒ කාලෙ ඉවරවුණේ ෆැක්ස් මැසිම අස්සෙන් කන්තෝරුවට ආපු ආණ්ඩුවෙ ලාංචනය උඩින්ම තියෙන ලියුම් කරදහියක් නිසා. ‍ඇවිදන ගමන් ලියාපු විභාගෙක ප්‍රතිපල, ඒ ඇත්තන්ට සතුටුදායක මට්ටමක තියෙන බවත්, උස පළල බලාගන්න ඕන කරන නිසාත් මූණ මැද නහය තිබෙන බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නිසාත් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් බොහොම ගාම්භීර විදිහට සුද්දගෙ බාසාවෙන් ලියල තිබුණා.
සම්මුඛ පරීක්ෂණ තිබුණත් ඒවා නිකං මේ නමට විතරය, වැඩි කොටහ ඇතුළෙන්මය, ඉතිරි ටික හයිකාරයන්ටය කියලා රට්ටු කිවුවත්, නිකං ඉන්න මට අහල ගියත් මොකද කියලා මාත් ඔන්න ඔහේ අත් දෙකටම ඇඳලා, අල්මාරියෙ වේලි වේලි තිබිච්ච ටයි පටියකුත් බෙල්ලෙ එල්ලන් කියාපු වෙලාවටම කියාපු තැනට ගියා. 

එතන හරි අපූරුයි. හුරුපුරුදු කාරයෝ බොහොමයි. මං වගේම කීපදෙනෙකුත් නොහිටියාම නෙවෙයි. කොහොමින් කොහොම හරි මගේ වාරෙ ආවහම ඇතුළට ගිහින් ඇතුළට ගිහින් වාඩිවුණා.  රාජකාරියට සම්බන්ධ ප්‍රායෝගික ගැටළු දෙක තුනක් ඇහුවා මතකයි. සිංහලෙන් හිතන්න පුරුදු වෙච්ච මට ඉංගිරිසියෙන් අහන ප්‍රශනෙකට ඉංගිරිසියෙන් උත්තර දෙන්න ටිකක් වෙලා යනවා. හැබැයි මගේ තාත්තා මං ගැන කියද්දි හැම වෙලාවෙම කියන "Jack of all trades, master of none" නිසාත්, අළුත් දෙයක් ඉගනගන්න තියන ආසාව නිසා හැම දේම යන්තමින් හරි දැනගෙන තිබීම නිසාත් ප්‍රායෝගික ගැටළු වලට ප්‍රායෝගික උත්තර දෙන්න අමාරු වුනේ නැහැ. සම්මුඛ පරීක්ෂණය ඉවරයි. ප්‍රතිඵල ගැන යථා කාලයේදි අපි ඔබව දැනුවත් කරන්නම් කියලා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ ප්‍රධාන මහතැන් හිනාවෙලා කිවුවා. 

දොරෙන් එළියට එන ගමන්ම  ටයි පටිය සාක්කුවට දාගෙන බාරිට කෝල් එකක් ගත්ත.
"හෙලෝ වැඩේ හරිද?"  (මේ ගෑනුන්ට තියන තදියම රට යන්න.) මට කතා කරන්න දුන්නෙත් නෑ.
"මොන හරියක්ද කෙල්ලෙ, ගියාට ඉඳල ආවා. ඔන්න ති‍යෙන දෙයක් බලාගෙන දැන් කොරන රස්සාවම කොරමු."
"ඇයි, එච්චරට අප්සට්ද?"
"නෑ, ඒත් එතන නැටුමෙ හැටියට යන කට්ටිය දැන් ගිහිල්ලත් ඉවර ඇති, මම මෙහෙන්ම ඔෆිස් ගිහින් එන්නම්. "
"හා එහෙනම්, මොනා කරන්නද"

අාපහු පුරුදු ජීවිතේ තිබුණෙ ටික කාලයයි.  මාස දෙක තුනකට පස්සේ සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත මාව අදාල ප්‍රධාන කාර්යාලයට මාරු කළා කියලා ආපහු ලියුම් කරදහියක් ආවා.

ඒ කාර්යාලයේ මාස කීපයක කඩිනම් පුහුණුවකින් "(ඊට) පස්සේ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්ට."



Thursday, September 11, 2014

කළවම් පළා.......... | Mosaic Mind.......

අපේ ගෙදර බත්පතේ කොළ පැහැ පළා වර්ගයක් නොවූ දිනයක් නොමැති තරම්ය. කුස්සිය පිටිපස්සේ කණ්ඩි කෑල්ලකට හේත්තුවී තිබුණු පාත්තියේ වූ කංකුං, මුකුණුවැන්න හා ගොටුකොළද ඊට ටිකක් එපිටින් වූ කතුරුමුරුංගා ගස් දෙකද හැමදාම අඩුපාඩුවක් නොකියන්නට පිඟානට පැමිණේ.

පළා මැල්ලුම හෝ සම්බෝලය අප කුඩාවුන් තිදෙනාට කවන්නට අපේ අම්මා දහසක් දේ කියයි. "අනේ මේ කතුරුමුරුංගා චුට්ට කාපන් පුතේ, හොඳට ඇස් පේනවා" , "කොළ ජාති කෑවම පාට වැටෙනවා". මේ මොන කතා කිව්වත් කුඩාවුන් වූ අප පළා මැල්ලුම කනවා හොරය. මා නම් කරන්නේ මුළින්ම පළා අහුර ගිල දමන එකයි. අවසන් බත් කට සමග කෑමට රසවත්ම දේ (මාළු කෑල්ල, බිත්තර කහමදය ) ඉතිරි කරගනිමි.

අවුරුදු තුන හතරක සිට පළා නොමැති රටක දිවි ගෙවන මට බත්පත අතට ගන්නා හැම මොහොතකම පළා මැල්ලුමක හෝ සම්බෝලයක රස දිවට දැනී නොදැනී යයි. මගේ ඇඹේණියද අැයට ඇති සීමිත සම්පත් යොදාගනිමින් බත් පතට කොළ පැහැ යමක් එක් කරන්නට වෙහෙසෙන්නීය. ඒ මා මෙන්ම ඇයත් කුඩා වුන් කළ කෙසේ වුවත් දැනුම් තේරුම් ඇති දා පටන් පළා ප්‍රේමීන් වේ. කෑම පසු පස නොඑලවන මට වුවත් කළවම් පළා මැල්ලුම ඉතා රසවත් අහරකි.

කළවම් පළා මැල්ලුම රසවත් වන්නේ එහි මුසුවී ඇති විවිධ රසයන් නිසාවෙනි. ඇතැම් කොළ වර්ගයක අමි රසද තවෙකෙක කොළ රසද දෙහි ඇඹුල් රසද උම්බලකඩ කැබැල්ලක පුළුටු රසද එක්වී තැනෙන රස අපූරුය. 

ජීවිතය යනු රසවත්  කළවම් පළා මැල්ලුමකි. මොසැයික් චිත්‍රයකි. වෙන්ව ගත්විට රසවත් නැතත් එක්ව ගත්විට සුන්දරය. රසවත්ය. දුක්බර සිද්ධි යැයි වෙන්කොට අමතක කරන්නට තැත් කළ සිදුවීම් පසු කළෙකදී ස්මරණය කළ විට එතරම් දුක්බර නොවන්නේ ඒ හා සබැඳි හෝ ඒ හේතුවෙන් පැන නැඟි පසු කාලීන සිදුවීම්, ඉතාමත් සුන්දර කාරණා බැවිනි.

මේ මගේ ජීවන දැකීමයි.  මීට අමතරව අද මට විශේෂ දිනයකි. එනම් අද මාගේ ජන්ම දින සැමරුමයි. බ්ලොග් පිටුවක් අරඹන්නට සිතා බොහෝ කල් වුවත් වඳුරාගේ ගෙවල් හැදීම මෙන් දිනෙන් දින කල් දැමූ කටයුත්තක් වන මෙය අද දින අරඹමි. මේ අරභයා කෙටුම් පත් කළ ලිපි කිහිපයක් ද කෙටුම් පත් ගොනුවේ තිබේ. මා මිතුරු ප්‍රසන්න හිතවතාගේ බ්ලොගයට වඩා එක් පෝස්ටුවක් හෝ ලියමි.