Wednesday, September 17, 2014

ගුවනින් ගිය ගොඩයා  | First time in an Aeroplane

"ගුවනින් ගිය ගොඩයා" ගුණදාස ලියනගේ මහත්තයගෙ පොතක්. මගේ මතකය හරි නම් ලියනගේ මහත්තය 1960 ගණන් වල මහ ගංවතුර වාර්තා කරන්න ත්‍රිකුණාමලය අම්පාර පැත්තේ ගිහින් ගං වතුරට කොටු වෙලා ගුවන් යානයකින් ආපහු එන කොටසකුත් ඒ පොතේ තියනවා. 
පිංතූරය ගත්තෙ මෙතනින්
මගේ පළවෙනි ගුවන් ගමන වුනේ රාජකාරි  බාර ගන්න දුරු රටකට යන්නයි. ඒ රාජකාරිය නිසාම ලෝක ගෝලෙ අනිත් පැත්තෙ මගෙ මායියත් එක්ක අවුරුදු තුනක් ගතකරන්න වෙනවා. ඒ අවුරුදු තුනට වෙච්ච ජරමර, ලැබූ අතිදැකීම්, අහපු දැකපු දේවල් ලියන්නයි මේ "කළවම් පලා" පටන් ගන්නෙ.

බැඳලා අවුරුදු තුනක් විතර  අරමුණක් නැතිව වගේ එහාටයි මෙහාටයි යමින් ඇනෙක්ස් වල නැවතිලා හිටි අපි දෙන්නට කියන්න තරම් දුකක් කරදරයක් තිබුණෙ නැහැ. සතියෙ දවස් වල උදේට රස්සාවට ගිහින් හවසට ගෙදර එන අපි දෙන්නට සති අන්තයේ ගෙදර හිටිය කියලා පාළුවක් තනිකමක් නොතිබුණේ ‍කවුරු හරි පොඩි එකෙක් අපේ ගෙදරට කඩා පනින නිසයි.

කොහොමින් කොහොම හරි ඒ කාලෙ ඉවරවුණේ ෆැක්ස් මැසිම අස්සෙන් කන්තෝරුවට ආපු ආණ්ඩුවෙ ලාංචනය උඩින්ම තියෙන ලියුම් කරදහියක් නිසා. ‍ඇවිදන ගමන් ලියාපු විභාගෙක ප්‍රතිපල, ඒ ඇත්තන්ට සතුටුදායක මට්ටමක තියෙන බවත්, උස පළල බලාගන්න ඕන කරන නිසාත් මූණ මැද නහය තිබෙන බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නිසාත් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් බොහොම ගාම්භීර විදිහට සුද්දගෙ බාසාවෙන් ලියල තිබුණා.
සම්මුඛ පරීක්ෂණ තිබුණත් ඒවා නිකං මේ නමට විතරය, වැඩි කොටහ ඇතුළෙන්මය, ඉතිරි ටික හයිකාරයන්ටය කියලා රට්ටු කිවුවත්, නිකං ඉන්න මට අහල ගියත් මොකද කියලා මාත් ඔන්න ඔහේ අත් දෙකටම ඇඳලා, අල්මාරියෙ වේලි වේලි තිබිච්ච ටයි පටියකුත් බෙල්ලෙ එල්ලන් කියාපු වෙලාවටම කියාපු තැනට ගියා. 

එතන හරි අපූරුයි. හුරුපුරුදු කාරයෝ බොහොමයි. මං වගේම කීපදෙනෙකුත් නොහිටියාම නෙවෙයි. කොහොමින් කොහොම හරි මගේ වාරෙ ආවහම ඇතුළට ගිහින් ඇතුළට ගිහින් වාඩිවුණා.  රාජකාරියට සම්බන්ධ ප්‍රායෝගික ගැටළු දෙක තුනක් ඇහුවා මතකයි. සිංහලෙන් හිතන්න පුරුදු වෙච්ච මට ඉංගිරිසියෙන් අහන ප්‍රශනෙකට ඉංගිරිසියෙන් උත්තර දෙන්න ටිකක් වෙලා යනවා. හැබැයි මගේ තාත්තා මං ගැන කියද්දි හැම වෙලාවෙම කියන "Jack of all trades, master of none" නිසාත්, අළුත් දෙයක් ඉගනගන්න තියන ආසාව නිසා හැම දේම යන්තමින් හරි දැනගෙන තිබීම නිසාත් ප්‍රායෝගික ගැටළු වලට ප්‍රායෝගික උත්තර දෙන්න අමාරු වුනේ නැහැ. සම්මුඛ පරීක්ෂණය ඉවරයි. ප්‍රතිඵල ගැන යථා කාලයේදි අපි ඔබව දැනුවත් කරන්නම් කියලා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ ප්‍රධාන මහතැන් හිනාවෙලා කිවුවා. 

දොරෙන් එළියට එන ගමන්ම  ටයි පටිය සාක්කුවට දාගෙන බාරිට කෝල් එකක් ගත්ත.
"හෙලෝ වැඩේ හරිද?"  (මේ ගෑනුන්ට තියන තදියම රට යන්න.) මට කතා කරන්න දුන්නෙත් නෑ.
"මොන හරියක්ද කෙල්ලෙ, ගියාට ඉඳල ආවා. ඔන්න ති‍යෙන දෙයක් බලාගෙන දැන් කොරන රස්සාවම කොරමු."
"ඇයි, එච්චරට අප්සට්ද?"
"නෑ, ඒත් එතන නැටුමෙ හැටියට යන කට්ටිය දැන් ගිහිල්ලත් ඉවර ඇති, මම මෙහෙන්ම ඔෆිස් ගිහින් එන්නම්. "
"හා එහෙනම්, මොනා කරන්නද"

අාපහු පුරුදු ජීවිතේ තිබුණෙ ටික කාලයයි.  මාස දෙක තුනකට පස්සේ සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත මාව අදාල ප්‍රධාන කාර්යාලයට මාරු කළා කියලා ආපහු ලියුම් කරදහියක් ආවා.

ඒ කාර්යාලයේ මාස කීපයක කඩිනම් පුහුණුවකින් "(ඊට) පස්සේ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්ට."



3 comments:

  1. මචං මම මේ පොත පොඩි කාලේ කියෙව්වේ. පුස්තකාලෙකින්. මම මේ පොතට පිස්සු හැදිලා හිටියේ. මම හැම තැනම පොත හෙව්වා. ගන්න තැනක් නෑ.හොද වෙලාවට ඔයාගේ blog එක දැක්කේ. මගේ ජිවිතේ කොටසකුත් මෙකේ තියනවා. මට පුලුවන්නම් පොත ගන්න තැනක් කියන්න. ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. මම gmail එකේ request එකක් දැම්මාග hdcreationad@gmail.com

      Delete
    2. මම gmail එකේ request එකක් දැම්මාග hdcreationad@gmail.com

      Delete